මීගමුවේ නිවාස අහිමි ජනතාවගේ ලෝක ජනාවාස දින සැමරුම ;
සැම වසරකම ඔක්තෝබර් මාසයේ පලමුවෙනි සදුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස නම් කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය 1985 සිට වාර්ෂිකව මෙම දිනය සමරමින් සිටියි.
ජනතාවට ජීවත්වීමට සුදුසු නිවාස තිබිය යුතු බවත් ඒවා ලබා දීමට කටයුතු කිරීම ඕනෑම රටක පවතින රජයේ වගකීම වන බව බලකර සිටම සහ වාසය කිරීමට සුදුසු නිවසක් සෑම මිනිසකුගේම මානව අයිතියක් බව පසක් කිරීම මෙවැනි විශේෂ දිනයක් ප්‍රකාශයට පත්කර තිබීමේ මූලික අරමුණ ලෙස දක්වා ඇත.
නිල නොවන දත්ත වලට අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුල පමණක් ඉඩම් සහ නිවාස අහිමි පවුල් 42,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වේ.
මීගමුවේ අතිවිශාල පවුල් සංඛ්‍යාවක් තමන්ව මහත්සේ පීඩාවට පත් කරවන නිවාස නොමැතිවීමේ ගැටලුවට විසදුම් ලබා ගැනීම සදහා මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය වටා ඒකරාශී වී වසර තිස් පහකට වැඩි කාලයක් තිස්සේ අරගල කරමින් සිටින අතර ඔවුන් යම් ජයග්‍රහණය ලබා ගෙන ඇතත් තවමත් විශාල පවුල් සංඛ්‍යාවක් නිවාස අහිමිව දැඩිසේ පීඩාකාරී ලෙස ජීවත් වෙති.
කුලී නිවාස වල ජීවත් වන බොහෝ දෙනෙක් නිවෙස් හිමි කරුවන්ගේ අත්තනෝමතික තීරණ නිසා විවිධ පිඩාවන් විදිති.
එසේම, ඉතා කුඩා නිවසක ජීවත් විය නොහැකි තරම් සංඛ්‍යාවක් සිටින අතර ඒ නිසාම ඇතිවී ඇති සමාජීය සහ පවුල් ආරවුල් විසදීමට වෙනම වැඩ පිළිවෙලක් අවශ්‍යවී තිබේ.
මේ තත්ත්වය පිළිබඳව පාලකයින්ගේ සහ වගකිව යුතු බලධාරින්ගේ අවධානය යොමු කර මේ දැවෙන ප්‍රශ්නයට කඩිනම් විසදුම් ලබා ගැනීමට සමස්ත ජනතාව සම්බන්ධ කර ගනිමින් ඔවුන් පුලුල් ලෙස දැනුවත් කිරීම සදහා මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ මෙහෙයවීම සහ මග පෙන්වීම යටතේ මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය පවත්වන විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන “රෑට බතට අපි කොහෙදෝ ලගින්නේ? “ තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය යෙදී ඇති ඔක්තෝබර් 01වෙනි සදුදා මීගමුවේදී පැවැත්වනු ඇත.
නිවාස අහිමිව පීඩා විදින ජනතාව තමන්ට ජීවත්වීමට සුදුසු නිවසක් ලබා ගැනීමට කරන මේ අරගලයට සහය දැක්වීමට එදින මීගමුවේදී ඔවුන් සමග එක්වීමට ඔබ සැමට මෙසේ ඇරයුම් කරමු.
ජනාවබෝධ කේන්ද්‍රය
මීගමුව.
One Comment
Aruna Shantha Nonis
Good post