
මේ වනවිට කතෝලික සභාවේ කොළඹ අගරදුගුරු පදවියේ දේවස්ථාන වල පවත්වන විශේෂ දේව මෙහෙයන් වලදී ලතින් භාෂාවෙන් ගැයෙන ගීතිකා සහ යැදුම් අසන්නට ලැබේ. නියත වශයෙන්ම මෙම දේව මෙහෙයන් පවත්වන පියතුමා හැර, අවම වසයෙන් මෙම ගීතිකා ගායනා කරන බොහෝ දෙනෙකු පවා මෙම ගිතිකාවල තේරුම නොදන්නා බව නියත වශයෙන්ම කිව හැක.
1960 ගණන් වලදී පවත්වනු ලැබූ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර දේවමෙහෙයන් වලදී වැඩි වශයෙන් ලතින් භාෂාව පාවිච්චි කරන ලද්දේ එය කෙලින්ම වතිකානුවේ සම්ප්‍රදායට අනුව සිදුවිය යුතු නිසාය. එහෙත් දෙවන වතිකානු මන්ත්‍රණ සභාව සමග ඇතිවූ සභා නවෝදය සමග දේශීය භාෂාවන් ගෙන් දේව මෙහෙයන් පැවැත්වීම ආරම්භවූ අතර ඒ සදහා කතෝලික සභාවේ ගරු මර්සර්ලින් ජයකොඩි,අර්නර්ස්ට් පෝරුතොට, මොසෙයි පෙරේරා,අබා කොස්තා සහ ඔස්කා අබේරත්න පියතුමන්ලා විශාල දායකත්වයක් ලබා දුන්හ.
කොළඹ අගරදුගුරු පදවියේ නායක අතිඋතුම් මැල්කම් රන්ජිත් කාදිනල් තුමා තමාගේ දේශීය සංස්කෘතියට ඇති ආදරය සහ උන්වහන්සේ එම සංස්කෘතියෙන් ලද පෝෂණය ගැන දිගින් දිගටම කතා කරන කෙනෙකි. එවන් වාතාවරණයක් තුල දේශීයකරනයවූ කතෝලික සභාවේ වත්පිළිවෙත් නැවත ලතින් භාෂාවෙන් ගීතිකා ගැයීම සහ යැදුම් පැවැත්වීම වැනි පියවරයන් තුලින් යුරෝපීයකරණය කිරීමට දරන උත්සාහ සැබවින්ම වටහා ගැනීම තරමක් අපහසු දෙයකි.
පාස්කු ප්‍රහාරයට පෙර කොටි ගානක් මුදල් වියදම් කර මීගමුව මහාවිදිය ශාන්ත මරියා දෙව්මැදුරේදී ලතින් පුජාවක් පැවැත්වුණි. මේසදහා දේශීය සහ විදේශීය සංගීත කරුවන් විශාල පිරිසක් සහභාගී කර ගත්හ. සැබවින්ම පැමිණ සිට සැමට එය චමත්කාර ජනක සංගීතමය අත්දැකීමක් විය. එහෙත් ගයනා කල ගීතිකා හෝ යැදුම් මොනවාදැයි පැමිණ සිටි බොහෝ දෙනෙකුට තේරුනේ නැත. එය සැබවින්ම ශ්‍රී ලංකාවේ බොහෝ අය හින්දි ගීත වලට ප්‍රියකරනවා වැනි අත්දැකීමකි.
‘ගීත ලස්සනයි, එහෙත් තේරුම නොදනියි’ ආගමික වත් පිලිවෙතකදී එය එසේ නොවිය යුතුය. එය නැතිනම් ජනතාව තව තවත් මිත්‍යාව වෙත රැගෙන යාමකි.
“අපිට යමක් තේරෙන්නේ නැතිනම් ; “මටනම් එක ලතින් වගේ ” කියන ප්‍රස්තා පිරුලක් අප සමාජයේ ඇත. කතෝලික සභාවේ වත් පිළිවෙත් ශ්‍රී ලාංකික කතෝලිකයින්ට ” ලතින් ” නොවිය යුතුය.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි.
2 Comments
maxwell
.. God does not respond to the prayers that we make in our own language, lets try Latin. He might respond.
හැඩ්ලි පෙරේරා
මා තුළ ලතින් බස ජනවන්දනාව සඳහා භාවිතා කිරීම ගැන කිසිදු කැමැත්තක් නැත. නොතේරෙන බසකින් දෙවියන් යැදීම කළ නොහේ. එය එක්කෝ තුෂ්ණිම්භූතව බලාසිටීමට හෝ ගිරා පෝතක උච්චාරණයට මග පාදන්නක් බව මගේ වැටහීමයි. ලතින් භාෂාව උගෙන ලතිනෙන් වහරන්නේ නම් ඊට කම් නැති. එහෙත් මළ භාෂාවන්ගෙන් කුමන යැදුම් ද! එමෙන් මැ ලතින් පූජාව තුළ එය නොතේරෙන අය ඉදිරියේ විකුමන් පෑමකට එහා ගිය යාච්ඤාමය අරුතක් නැත. ඒ ලතින් යැදුම ගැනය.
ලතින් ගීතිකාව ගැන මට කිව හැක්කේ මෙය ය. ලතින් ගීතිකාවේ භාවමය ගුණය පොප් ගීත සම්ප්රදාය හා සබැඳි නූතන ගීතිකා සම්ප්රදාය තුළ දක්නට නැත. පෙරදිග රාගධාරී සංගීතය මෙන් බටහිර ක්‍රිස්තියානි ග්‍රෙගෝරියානු සංගීතය ද භාවමය ගුණයෙන් අනූනය. අප කළ යුතුව ඇත්තේ එහි සංගීත ආභාසය හෙළ ගී සම්ප්රදාය හා මුසු කිරීම විනා අමුවෙන් ම එම ලතින් ගී ජනවන්දනාවට ගැනීම නොවේ. අතීතයේදී එවන් උත්සාහයන් ගෙන තිබූ බව අමතක නොකළ යුතු ය. Tantum ergo ආ උතුම් මේ… වූයේ ඒ අනුව ය. එමගින් සන්ධ්‍යා මෙහෙයේ ( vespers ) භාවගුණය රඳවා ගැනීමට එකල දේශීයකරණයේ නයුවෝ සමත් වූහ. මා යෝජනා කරන්නේ ලතින් ගීතිකාවේ භාවමය ගුණය හෙළ ගීතිකාවට එකතුකර ගැනීමය. සංගීතයට ලතින් භාෂාව අවශ්‍ය නැත.
තවද ලතින් අවධාරණය පිටුපස ඇති සභා දේශපාලනයද තේරුම් ගැනීම වැදගත් යැයි සිතමි: මා මෙය දකින්නේ ක්‍රිස්තියානි ප්රගතිශීලී අඩාල කිරීමේ opus dei නම් ප්රතිගාමි සංවිධානයේ ව්‍යාපෘතියේ අංගයක් ලෙසය. මධ්‍ය කාලීන රදළ වැඩවසම් සභා ඓශ්චර්යය වෙත සභාව යළි ඇදගෙන යෑමේ වුවමනාව ඊට ඇත. ඒත් අපි සොයන්නේ ධනය, බලය හා කීර්තිය ප්‍රතික්ෂේප කළ ජේසුගේ සභාව හා උන්වහන්සේ දෙසූ දේව රාජ්‍යය ය.