


අශන්ති පෙරේරා විසිනි
ස්ත්‍රීය පිළිබඳ ඉතිහාසාත්මකව අවධානය යොමු කිරීමේදී ඉන්දියාවේ ප්රාග් වෛදික යුගයෙන් ආරම්භයක් ගැනීම ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් යන්න මගේ අදහසයි. ප්රාග් වෛදික යුගයේ ඉන්දියාවේ මාතෘ මූලික සමාජයක් [mother-centered-society] විය. ස්වාධීනව, දේපළ හිමි කර ගනිමින් ජීවත්වීමට ඇයට හැකි විණි. වර්ගයා බෝ කිරීමේදී, පෝෂණයේ දී හා ආරක්ෂාවේදී ඇය දක්වන දායකත්වය හා කැපවීම අගයමින් සමාජයේ ගෞරවාදරයටත්, වන්දනාවට මව්වරු පාත්‍ර විය. මෙම යුගයේ කැපී පෙනෙන විශේෂත්වය වූයේ ඉන්දියාවේ කිසිදු සංවිධානාත්මක ආගමක් ස්ථාපිත වී නොතිබිමයි. සංවිධානාත්මක ආගමක් ලෙස ඉන්දියාවේ ප්‍රථමයෙන්ම ස්ථාපිත වූයේ බ්‍රහ්මණ ආගමය. ඒ වෛදික යුගයේදී ය. ඊටම සාපේක්ෂව අප්‍රිකානු මහාද්වීපය තුල ඈත අතීතයේදී පැවතියේ මාතෘ මූලික ජනසමජයකි. විශේෂයෙන් ගෝත්‍රික පසුබිමක නැතිනම් වපසරියක අප්‍රිකානුවෝ එලෙස ජීවත් වූහ. අප්‍රිකානු ජනසමාජය එලෙසින් දිනපතා කෙරෙන නැතිනම් සම්ප්‍රදායික බොහෝ අවස්ථාවල මුල් තැන දුන්නේ කාන්තාවටය. අයගේ මෙහෙවර ඉතාම ඉහලින් පිළිගත් පවුල් සමාජ ඒකකයක් නිර්මාණය වී තිබිණි.
ඉන්දීය සමාජය තුළ ඉතා දැඩිව පැතිර ගිය බ්‍රහ්මණ සංකල්පය ඉන්දීය සමාජය ප්‍රතිස්ථාපනය කරන්නට විය. ඇත්තෙන්ම එහි සමාජ ක්‍රමය උඩු යටිකුරු කරන ලදී. මාතෘ මූලීක සමාජය පීතෘ මූලීක සමාජයක් බවට පත් වූ අතර සමාජ ස්ථර සකස් විය. මෙහිදී එක සාධකයක් වන්නේ විවිධ කොටස් බෙදීමට ලක්වීමයි. ආගමික සංස්ථා මෙහෙයවන පුද්ගලයන් වූයේ පුරුෂයන් ය. කාන්තාව පුරුෂයා මත පමණක් යැපෙන්නියක් වූ අතර ඇයට ස්වාධීන පැවැත්මක් නොවීය. පියා, සැමියා, පුත්‍රයා යටතේ නොවූ විට ඇයගේ ඉරණම මරණය විය. බොහෝ විට වර්තමාන ඉන්දීය සමාජය පවා ක්‍රියාත්මක වන්නේ මෙම වෛදික මූලයන්ගෙනි. සමාජ ස්ථර අතර ඉහළින්ම සිටි සමාජ ස්ථරය වූයේ ආගමික කණ්ඩායම් ය. ආගමික සංස්ථාවන්ට සමාජ ස්ථරයන්ගේ ඉහළින් වැජඹීමටත්, තම බල කේන්ද්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් පීතෘ මූලීක සමාජ ක්‍රමය සක්‍රීය ලෙස දායක විය.

තවත් කරුණක් කතිකාවට ගන්නේ නම්, විශේෂයෙන් පෙනෙන්නේ ආගමික ශාස්තෘන් සමාජ හා ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් ක්‍රියා කළ ද, ආගමික සංස්ථාවන් මගින් ඒවා නිසි පරිදි සමාජගත නො වුනු බවයි. ඉන්දියාවේ පමණක් නොව ආසියාවේ සෑම සංවිධානාත්මක ආගමක්ම සංස්ථාගත වී සමාජගත වීමේදී ස්ත්‍රීය පහත් මට්ටමෙහිලා සැලකේ. බොහෝ ආසියාතික රටවල, අදටත් ස්ත්‍රීයට ආගමක් තුල නැතිනම් එම රාමුව තුල හිංසාවම පමණක් උරුම වී ඇති බව මොනවට පැහැදිලිද.
වතමන් පුරුෂ කේන්ද්‍රීය සමාජ සංස්ථාවේ වුවද, බොහෝ රටවල කාන්තාවන්ට දේශපාලනික, සමාජ, ආර්ථික හා අධ්‍යාපනික අංශයෙන් ඉදිරියට ඒමට අවස්ථාව උදා වී ඇත. යුරෝපා මහද්වීපයේ රටවල, ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ද. කොරියාව, චීනය හා ජපානය වැනි රටවල මෙම තත්ත්වය ඉතා හොඳින් දැක ගත හැක. ඇමෙරිකානු එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය ලෙස ඉන්දීය-අප්‍රිකානු සම්භවයක් ඇති කමලා හැරිස් පත් කර ගැනීම, ජර්මනිය චාන්සල්වරියක් විසින් පාලනය, නේපාල ජනපතිනිය හා ලෝක දේශපාලනයට බලපෑම් වන අයුරින් ඇයගේ ක්‍රියාකාරකම් ආදිය මෙයට නිදසුන් ලෙස දැක්විය හැක. එමෙන්ම නවසිලන්ත ජනාධිපතිනිය විශේෂයෙන් මෙම කොරෝනා වසංගතය තුල තම රට වැසියන් වෙනුවෙන් වෙහෙසී කටයුතු කල අන්දම අගය කල යුතුමය. හුදෙක් පුර්ෂයින් ජනාධිපතිවරුන්ව සිටින රටවල් අද මුසාවාදයට, යුද්ද වලට පමණක් හසුවී කටයුතු කිරීම දක්නට ලැබෙන දෙයකි. එහෙයින් ලෝක මට්ටමින් කාන්තාවන්ගේ භූමිකාව විශාල තැනක් ගනී.
එහෙත් මැදපෙරදිග, ආසියාතික, ලතින් ඇමෙරිකානු හා අප්‍රිකානු රටවල තත්ත්වය සමස්තයක් ලෙස සතුටුදායක නොවේ. ආගමික තහංචි සමඟ වූ පුරුෂ බල කේන්ද්‍රීයව මැද පෙරදිග කාන්තාව හිංසනයට ලක්වෙන අතර, එම රටවල සේවයන්හි නිරතවන ලංකා, ඉන්දීය කාන්තාවන්ගේ තත්ත්වය ද එසේමය. අධිරාජ්‍යවාදී සම්පත් සූරාකෑමට හා දූෂිත දේශපාලනය නිසා දිළිදුකමටත්, සමාජ හා සංස්කෘතික සීමාවන්වලටත් මැදිව පීඩාවට පත්ව සිටින ආසියාතික, අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල බහුතර කන්තාවන්ගේ තත්ත්වය ද කණගාටුදායකය.

රට රටවල දේශපාලනික, සමාජ, ආර්ථික තත්ත්වයන්ට සමගාමීව කාන්තාවන්ගේ තත්ත්වය පුරුෂයන්ට වඩා වෙනස් වන්නේ පුරුෂ කේන්ද්‍රීය සමාජයන් තුළ පුරුෂයා තම නිදහස, ස්වාධීනත්වය කුමානාකාරයෙන් හෝ බුක්ති විඳීමට උත්සුක වෙයි. මත්පැන්, මත්ද්‍රව්‍ය , සූදූව ඒ අතර ප්‍රධාන ය. එහෙත් ස්ත්‍රීය සමාජ, සංස්කෘතික රාමු තුළ සිරගත කර පවුලේ වගකීම් දැරීමට පොළඹවයි. එබැවින් දිළිදුකම සමඟ ආර්ථික, සමාජ, සංස්කෘතික පීඩා වඩාත් ඉසලීමට සිදුවන්නේ කාන්තාවටය. එය අදවන විට ඉතාම නින්දිත තත්වයකට පත්ව ඇත.
ආරම්භයේ දී දක්වා ඇති පරිදී ලංකා ඉතිහාසය සකස්වීමට ඉන්දියාව බෙහෙවින් බලපෑම් කර ඇත. එහෙත් ලංකාව එය තමන්ට අනන්‍ය ලෙස සකස් කර ගැනීම නිසා කාන්තාව සම්බන්ධයෙන් අන්තවාදීත්වයක් මෙහි දක්නට නොලැබීණි. ක්‍රි.පූ. 03 වන සියවසට පෙර සිටම මෙරට කාන්තාවන්ට සමාජයේ උසස් තනතුරු දැරීමට, දේපළ හිමි කර ගැනීමට, ස්වාධීනව ජීවත් වීමට හැකිව තිබූ බවට ඓතිහාසික සාධක ලැබේ. සැමියා දුරරට ගොස් එන තුරු තනිව විසූ කාන්තාවන් එකල සමාජයේ ද විණි. සමාජ ආරක්ෂාව හා ස්වාධීනත්වය ඇයට විය. ගම්පොළ යුගයේ මාතෘ මූලික සමාජයක් තිබූ බවටත්, රජකම මව් පාර්ශවයෙන් උරුම වූ බවටත් තොරතුරු ලැබේ.
නමුත් ලංකාව තුල මේ වන විට තත්වය සැලකීමට ගැනීමෙහිලා, කාන්තාව [විවිධ ආගම් හා ජාතීන් මට්ටමින් බලන කල] තරම් දුක් උහුලන කෙනෙකු නොමැති මට්ටමට පත්ව ඇත. විශේෂයෙන් ලංකාවේ වසර ගණනක්ම පවතී යුද්දමය තත්වය හේතුකරගෙන සිදු වූ කාන්තා හිංසන සුළු පටු නොවෙති. යුද වාතාවරණය තුල, පශ්චාත් යුධ ස්මයේ LTTE හා ශ්‍රී ලංකා ආමී කඳවුරු තුළද, සරණාගත කඳවුරු තුළද පීඩාවට පත් වූ කාන්තාවන් ද, උතුරේ මෙන්ම දකුණේ තම දරුවන් අහිමි වීමෙන්, ඇතැම් දරුවන් අතුරුදහන් වීමෙන්, තම දෑස් ඉදිරිපිට දියණියන් අතවරයට ලක්වීමෙන් නොමැරි මැරෙන් මව්වරු ද විශල පිරිසකි. මෙම සිද්ධි හුදෙක් නිදසුන් ලෙස නොව එකින් එක සිද්ධි ලෙස සලකා කතිකා කිරීම අද වන විට සිදු විය යුතු ප්‍රධානම මෙහෙවරකි. ලංකාවේ සන්දර්භීයව සිදුවන දෙයනම්, විශේෂයෙන් මෙහිදී සමුහ කරුණ කීපයක් සැලකිල්ලට ගැනීමේදී පැහැදිළි වන්නේ, අද කාන්තා විමුක්තිය නම් කතිකාව හුදෙක් තවත් කාන්තා පිරිසකගේ, නැතිනම් විශ්වවිද්‍යාල ආචාර්යවරියන්ගේ, ක්රියාදරියන්ගේ ඉදහිට කරන කතාබහක් පමණක් බවයි. ඔවුන් පීඩිත කාන්තාවන්ගේ සිද්ධි උලුප්පවා දක්වා ඔවුන්ගේ ආචාර්ය විභාග හා පර්යේෂණ සිදු කරන අතර, පීඩිත පන්තියේ කාන්තාවට සිදුවන හෝ සිදුකරන කිසිදු සෙතක් නොමැත. එයමනම්, තවත් හින්සාවක්ම පමණි. මන්ත, කාන්තාවම අද කාන්තාවගේ පීඩකයා වී ඇත. නිදසුනක් ලෙස, ප්‍රගීත් එක්නැළිගොඩව පැහැරගත් මොහොතේ සිට අද වන තුරු ඔහුගේ බිරිය සන්ධ්‍යාගේ භූමිකාව, ලංකාවේම කාන්තාවන් හෑල්ලුවට ලක් කර ඇත. එලෙස කිරීම උඩබලාගෙන කෙල ගසාගැනීමක් නොවේද?

උත්පත්ති 2:18 ට අනුව මිනිසා මවා ඔහුට අවශ්‍ය ආහාර, නිදහස ලබා දුන් පසු ඔහු වෙනුවෙන් සහජීවනය, සාමූහීකත්වය උදෙසා “මිනිසා තනිව විසීම සුදුසු නැත, ඔහුට මම සහජීවනයක් නිර්මාණය කරමි” ලෙස දක්වමින් දෙවියන් ස්ත්‍රීය ගොඩනංවයි. ස්ත්‍රීය ගස් හෝ සතුන් මෙන් භූමිය ඇසුරින් නොව මිනිසා තුළින්, මිනිස් ඇටකටු හා මාංශවලින් ගොඩනංවනු ලැබූ මිනිස් දුවකී. ඈ ඔහුගේ සහජීවනියයි. මිනිසා මවා, ඔහුගේ ඇටකටුවලින් ස්ත්‍රීය මැවීම පිළිබඳ ඇතැමුන් දරන මතය වන්නේ ස්ත්‍රීය පුරුෂයාට යටත්ය යන්න එයින් දක්වන බවයි.
එහෙත් බයිබල් විශාරදයන් එය අර්ථ දක්වන්නේ බයිබලයට අනුව බියකරු සතුරෙකු වූ තනිකමෙන් මිනිසා තනිව විසීම සුදුසු නොවන බව දුටු දෙවියන් වහන්සේ ඔහුට සහ-ජීවනියක් තිළිණ කළ බවයි. එනම්, ස්ත්‍රීය මිනිසාගේ තනිකමේ භයංකර තත්ත්වය වෙනස් කිරීමට දෙවිදුන්ගෙන් ලැබෙන සහයය.
සතුන්ට නම් තැබිමේදි කර්තෘකාරකයෙන් නම් තබා ඇති අතර ස්ත්‍රීයට නම් තැබීමේදී කර්මකාරකයෙන් තබා ඇත. එයින් මතුකර දක්වන්නේ මිනිසා සහ ස්ත්‍රීය අතර සම්බන්ධය උස්-පහත් සම්බන්ධයක් නොව සමානාත්මක සම්බන්ධයක් යන්නයි.ස්ත්‍රීය කවදාවත් කුමන කරුණක් නිසාවත් පුරුෂයාට යටහත් පහත ලෙස විසීමට දෙවියන් මවා නැත. දෙවියන් ගැහැණියව මවන ලද්දේ සමානාත්මකව සහජීවනයෙන් වෙසීමටය. කාන්තාවගේ නියම බයිබලීය විමුක්තිගතික හරය එලෙසදක්වීම අතැම උචිත වන්නේ හුදෙක් බයිබලීයව බලන කල නිසාම නොව, බයිබලීය බාෂාව මිනිස්-විමුක්තිය නම් තේමාව ඔස්සේ අධ්‍යනය කිරීම තුළිනි. එලෙස විශේෂයෙන් ක්‍රිස්තියානි සමාජය පොදු-මිනිස් -විමුක්තිය ඔස්සේ බලනාවනම්, කාන්තාවට අද සිදුවන හානි, කරදර හා පීඩා කිසිදා එල්ල වන්නේම නැත.

කරුණු එසේනම්, දෙවියන් මිනිසත් බව ගැනීමට කාන්තාවකගේ කුස තෝරාගැනීම තුල දෙවියන් ලෝක ස්භාවය මිනිසාට විමුක්තිගතිකව නැවත උදා කරදී ඇත. අතීතයේ දෙවියන්, පළමු අදියර තුළ පීඩිත මිනිසුන්ගේ නැතිනම් වහලුන්ගේ දෙවියන් වී දෙවන අදියරය තුළ මව් කුසයක ඉපිද දෙවියන්ගේ වහලෙකුව කුරුස පත් වී මිනිස් සමාජයට නැවත විමුක්තිය උදා කරදුන් දෙවියන් බවට පත් විය. එසේනම් ස්ත්‍රීයකගේ මව්කුස දෙවියන්ට කෙතරම් විමුක්තිගතික වුණිද? අවශ්‍ය වන්නේ හුදෙක් කාන්තා විමුක්තිය ගැන සම්මන්ත්රණ හෝ දේශන පැවැත්වීම නොව, දුක් උහුලන කාන්තාවන්ගේ පැත්තේ සිට ගැනීමය; ඔවුන්ට වීර්ය දීමය. විශේෂයෙන් ලංකාව වැනි රටක පීඩිතව මුළුගැන්වී ඇති කාන්තාවන් ඒමට ජීවත්වන වපසරියක, අප සැමට ඉටු කළ යුතු වගකීමක් අප උරහිස මත ඇති බව වටහාගැනීම අවශ්‍යම සාධකයකි.
ආශ්‍රේය ග්රන්ථ –
1. සාවනා 4 , ජන දෙව්දහමක් සඳහා බයිබලීය සංකේත, සාමය හා සාමාජීක කේන්ද්‍රය.
2. Aloysius Pieris, God’s Reign for God’s Poor [Sri Lanka, Logos Printing (Pvt) Ltd, 1998].
2 Comments
Kevin
පුරුෂ කේන්ද්‍රීය සමාජය ගැන කතා කරන වකවානුවක ඉතිහාසය මගින් අතීතයේ පැවති මාතෘ මූලික සමාජයක් පැවතීම පිළිබඳ අදහසක් මතු කිරීම වැදගත්ය.
එහෙත් මෙම ලිපියේ අඩංගු වී නොමැති කරුණක් පිළිබඳව දැක්වීමට කැමැත්තෙමි.
පීතෘ මූලික සමාජයක් වුවද, කාන්තාව අපේක්ෂා කරන නිසි තැන ලබා දීමට යුරෝපා රටවල් මේවන විටත් කටයුතු කර ඇතිමුත් එම තත්ත්වය ආසියාතික රටවල සතුටු දායක නැත. එයට හේතුව ලෙස මා දකින්නේ ආසියාතික රටවල පවත්නා චින්තන රටාවයි. පුරුෂයා පමණක් නොව කාන්තාවන් විසින්ද තමාව දකින්නේ දුර්වල, තනිව නැගී සිටීමට නොහැකි තැනැත්තියක් ලෙසයි. යුරෝපයේ ස්වාධීන කාන්තාවන් සුපර්මාර්කට් එකට යන විට පුරුෂයෙක් දොර ඇර දීමද ප්‍රතික්ෂේප කරන්නේ තම ස්වාධීනත්වය හා ස්ව ශක්තිය පෙන්වීමයි. මෙරට කාන්තාවගේ චින්තනය තමන් පිළිබඳව විශ්වාසයකට හැරවෙයි නම් පුරුෂ කේන්ද්‍රීය සමාජයේ වුවද, ඇයට නිසි තැන ලැබිය හැකි බව මගේ විශ්වාසයයි.
Aruna Shantha Nonis
ඔබගේ අදහස් තවත් පුළුල් ලෙස ඉදිරිපත් කරමින් ලිපියක් ලියන්නේ නම් එයට සච්චං තුල අවකාශය නිර්මාණය කරදෙනු කැමැත්තෙමි.
සංස්කාරක