
“ආණ්ඩුවට අවුරුද්දයි, රට කොයිබටද ?” යන සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වුණා. ආවේගශීලි ඝෝෂාකාරීත්වයෙන් මිදී ඉතාම සරලව ජනතාව විසින් අවබෝධ කරගත යුතු දේ පහදා දෙන්නට එහි කථික කථිකාවියන් කටයුතු කළා.

දීර්ඝ කාලයක් පුරා වාමාංශික දේශපාලනයේ නියැලෙමින් හා එහි න්‍යායාත්මක පිවිසුම් හා වර්ධනයන් පිළිබඳ පුළුල් දැනුම් සම්භාරයක් ඇති මහින්ද රත්නායක සහෝදරයා නව ලිබරල්වාදයේ ආරම්භය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කළා.
එහිදී චිලී රටේ සැල්වදෝර් ඇලන්ඩේගේ සමාජවාදී රජය කුමන්ත්‍රණයක් මගින් පෙරළා දැමූ පිනෝචේ, ආඥාදායක පාලනයක් ඔස්සේ නවලිබරල් ආර්ථිකයක් මගින් දේශීය ආර්ථිකය විනාශකරමින් බහුජාතික සමාගම්වල වහල් කම්කරුවන් බිහිකරන වහල් ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කළ ආකාරය ඉතා කදිමට විස්තර කළා. ගොවියන් හා ධීවරයන් ශ්‍රම බලකාය ලෙස ඉන්නා රටවල්වල බහුජාතික සමාගම් වෙනුවෙන් රටේ සම්පත් පූජාකරන විට ගොවියන් ධීවරයන් පවා සමාගම්වලට ශ්‍රමය පූජා කරන ගොවිකම්කරුවන් හා ධීවර කම්කරුවන් බවට පත්වන ආකාරය කදිමට විස්තර කළා.
විදේශ බලවතුන්ගේ වුවමනාවන් මත බලයට පත්ව ඒ වුවමනාව ඉටු කරන්නට එම ආර්ථික ප්‍රතිපත්ති ගෙනයන ආණ්ඩුවලට ආඥාදායකත්වය හා මිලිටරිවාදය / මිලිටරීකරණය අවශ්‍යවන බව පැහැදිළි කළා. නව ලිබරල් මතය මතයක් ලෙස තිබුනද එය ක්‍රියාත්මක කිරීමට අපහසුව තිබුණත් 70 දශකයේ දී චිලීය ඒ අයුරින් ආරම්භයක් දී තිබුණා. අනතුරුව ලෝක බලවතාගේ ආශිර්වාදය ඇතිව ලතින් ඇමරිකාව තුළ ආඥාදායකත්වයන් බිහිවෙමින් මේ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන්නට වුනා. 1978 JR විධායක ජනපති ක්‍රමය ස්ථාපිත කරමින් කළේ මේ අර්ථ ක්‍රමය ක්‍රියාත්මක කරන්නට උතසාහ කිරීමයි. ශ්‍රී ලංකාව ඒ අනුව නව ලිබරල් ආර්ථිකය ස්ථාපිත කරන්නට මුල්වූ මුල් රටවල් අතරට එකතු වෙනවා. එහෙත් JR කියපු විදියට මේක සිංගප්පූරුවක් කරන්න බැරිවුනා. ඒකට ප්‍රධාන හේතුව රටේ ගොවිබලකාය. මේ ක්‍රමය ස්ථාපිත කරන්න උත්සාහ කරන අයගේ අනෙක් උපක්‍රමය ආගම පාවිච්චි කිරීම. JR පත්තිරිප්පුවට නැග්ගෙ ඒ නිසා. ආගම මගින් නව ලිබරල් ආර්ථික ක්‍රමය හා අඥාදායකත්වයට අවිරුද්ධ ජනවිඥානයක් ගොඩ නැගීම මේ උපක්‍රමය වුනා. තෙවන උපක්‍රමය ජාතීන් අතර විරසකය ඇති කිරීම.

ජනබලවේගයේ මුනීර් මව්ලවිතුමා ඉතා චතුර ලෙස කතාකරමින් මෑත කාලය තුළ ජාතිවාදය අවුස්සමින් ජනතාව භේදභින්න කරමින් ආණ්ඩුවේ අසමත්කම් හා ජනතාවිරෝධී ප්‍රතිපත්ති වසාගන්නට කටයුතු කරන ආකාරය පෙන්නුම් කළා. ආණ්ඩුව අවස්ථාවාදීව ආදාහන හා භූමදාන ප්රශ්නය ඇදි ඇදී යන්නට සලස්වන්නේ ඇයිද යන්න ප්‍රශ්න කළා.

ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය ද නව ලිබරල් වාදයේ වර්තමාන ස්වරූපය පෙන්නුම් කළේ අපේ ජීවිතවල පුදගලිකත්වය පවා සන්නිවේදන සමාගම් විසින් පාලනය කරන ආකාරයත්, පුළුල් ලෙස නොසිතා එකම පටු මානසිකත්වයන්ට කොටුකරන ආකාරයත් පෙන්වා දුන්නා.

ටිල්වින් සිල්වා සහෝදරයා කතාකරමින් ඉතා පැහැදිළිව වත්මන් ආණ්ඩුව ජාතියට එකක් කියා තවෙකක් කරමින් ජනතාව රවටන ආකාරය පෙන්නුම් කළා. එමෙන් ම නව ලිබරල්වාදයේ විනාශකාරී සතුරා පරාජය කරන ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ජාතික ජන බලවේගය නිර්මාණය කර ඇති බව ඔහු ඉතා පැහැදිළිව පෙන්නුම් කළා.
අරුණ ශාන්ත සහෝදරයා මෙහි නිවේදන කටයුතු කළ අතර මනා සංයමයකින් හා බුද්ධිමත් ආකාරයකින් කථිකයාගෙන් කථිකයාට සම්මන්ත්‍රණයේ කතා හරයන් සම්බන්ධීකරණය කළා.මෙම සම්මන්ත්‍රණය ඇත්තෙන් ම කාලෝචිත සම්මන්ත්‍රණයක් බව පැහැදිළියි. ජන බලවේගය මෙම අදහස් තවදුරටත් ජනතාව අතරට ගෙනයා යුතුයි. මේ රටේ ජනතාවට යථාර්ථය තේරුම් කර දීම වාමාංශයේ වගකීමකි.
අජිත් හැඩ්ලි පෙරේරා