
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සමස්ත ලෝකවාසී ජනතාව විද්‍යාව, අවිද්‍යාව හා ආගම අතර දෝලනය වන පසුබිමක ‘විද්‍යාව, මිත්‍යාව හා ආගම’ යන කාලීන තේමාවක් රැගත් ක්‍රිස්තියානි අධ්‍යයන කවයේ තෙවන කතිකාව පසුගිය ජනවාරි මාස 31 වන දින සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මෙම කතිකාවට මහාචාර්ය ෂර්ලි ලාල් විජේසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා, ගරු කුමාර ඉලංගසිංහ රදගුරුතුමා, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා, ක්‍රිස්තියානි අධ්‍යයන කවයේ සාමාජිකයන් ඇතුළු සමාජ කතිකා පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් සම්බන්ධ වූහ. එම කතිකාවතේ ඉස්මතු වූ ප්‍රධාන විද්වත් අදහස් කිහිපයක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.
“මිත්‍යාව විසින් විද්‍යාවේ, ආගමේ හා දර්ශනයේ කාර්යභාරය ද සිදු කරනු ලබයි”
මහාචාර්ය ෂර්ලි ලාල් විජේසිංහ

කතිකාවට ප්‍රවේශයක් ලබා දෙමින් ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයනාංශයේ මහාචාර්ය ෂර්ලි ලාල් විජේසිංහ මහතා සඳහන් කළ පරිදි විද්‍යාවේ අවසාන ඵලය යම්කිසි මෙවලමක් වන අතර විද්‍යාවේ පරාසය සීමිත වේ. මිනිසුන් දුක් විඳීමට හේතුව කුමක්ද? මානව ජිවිතයේ අරුත කුමක්ද? යනාදී ප්‍රශ්නවලට විද්‍යාවෙන් විසඳුම් ඉදිරිපත් නොකරයි. දර්ශනයෙන් හා ආගමෙන් මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සපයන නිසා මිනිසා දර්ශනය හා ආගම වෙත නැඹුරු වේ. දර්ශනයෙන් ඉදිරිපත් කරන විසඳුම් බුද්ධි ගෝචර වේ. ආගමෙන් ඉදිරිපත් කරන විසඳුම් ගැඹුරු ප්‍රතිපදාමය අත්දැකීමක් සහිත ය. එහෙත් මිත්‍යාව යනු ඉහත ක්ෂේත්‍ර ත්‍රිත්වයේ ම කාර්යභාරය සිදු කරන්නකි. මිත්‍යාවට විද්‍යාව, දර්ශනය, ආගම යන සියල්ල ම හැසිරවිය හැකි ය. ඒ අනුව මිත්‍යාව මගින් දර්ශනයේ මෙන් විවිධ මතවාද ඉදිරිපත් කරයි; ආගමේ මෙන් ගැඹුරු ප්‍රතිපදාමය අත්දැකීම් උපමා හා කතාන්තර ආශ්රයෙන් ඉදිරිපත් කරයි; ඇතැම්විට එමගින් විද්‍යාවේ කාර්යභාරය ද සිදු කරයි.
“මිත්‍යාව සමාජගත කරන පුද්ගලයන් සිටින සමාජයක කොවිඩ් රෝගය පැතිරීම අවම කිරීමට නිශ්චිත ක්‍රියාමාර්ග ගත යුතු ය”
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට අනුව වර්තමානයේ අපට කොවිඩ් රෝගය පිළිබඳව කතිකා කිරීමටත් එම රෝග ව්‍යාප්තිය අවම කිරීමටත් සිදුව ඇත්තේ මිත්‍යාව පසුපස හඹා යන ජනතාවකගෙන් යුතු සමාජ පසුබිමක් මුල්කරගෙන ය. එහෙත් මිත්‍යාව සමාජගත කරන සමාජයක මෙපමණ ප්‍රමාණයකට හෝ විද්‍යාව තුළින් රෝගය පාලනය කරගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු විය යුතු බව ඔහුගේ අදහසයි. ලිබරල් ආර්ථික රටාව තුළ ඕනෑම සිදුවීමක් ව්‍යාපාරික අවස්ථාවක් බවට පෙරළා ගැනීමේ හැකියාවක් ඇත. එසේ බිහිවන ව්‍යාපාරික ලෝකය තුළ විද්‍යාවේ දැනුම කෙතරම් දියුණු වුවත් කොවිඩ් රෝගී තත්ත්වය 100% පාලනය කළ හැකි බවට විශාල බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි ය.
අප රටේ පවතින කොවිඩ් රෝග ව්‍යාප්තිය හමුවේ බොහෝ දෙනෙක් විමසනු ලබන ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ මේ රෝගයේ සමාජගත පැතිරීමක් ලංකාවේ පවතිනවාද? නැද්ද? යන්නයි. ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ලංකාවේ සමාජ ගත පැතිරීමක් නොව පොකුරු ආශ්රිත ව්‍යාප්තියක් පවතින බවයි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ අදහස වූයේ පොකුරු ව්‍යාප්තියක් ඇත්නම් ගුවන්තොටුපොළ විදේශීය සංචාරකයන්ට විවෘත කිරීමේදී රෝග ව්‍යාප්තිය පොකුරු වශයෙන් පවතින රටවල සංචාරකයන්ව පමණක් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසයි. එහෙත් පොකුරු ව්‍යාප්තියක් ඇති බව පවසමින් අප සමාජගත පැතිරීමක් ඇති රටවල සංචාරකයන් ගෙන්වා ගනිමින් සිටියි. එබැවින් අප සෑම කෙනෙක්ට ම කොවිඩ් රෝග ව්‍යාප්තිය තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.
“ආගමික ස්ථානවල නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කළ යුතු යි”
ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතාට අනුව වත්මන් සමාජය තුළ පටු ව්‍යාපාර අරමුණු හා දේශපාලනය මුල් කරගත් මිත්‍යාවක් දක්නට ලැබේ. එවැනි මිත්‍යාවන් මධ්‍යයේ වුවත් කොවිඩ් ව්‍යාප්තිය පාලනයට අප විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. කොව්ඩ් පාලනය සඳහා භාවිත එන්නත රෝග පාලනයේ එක් උපාය මාර්ගයක් පමණි. කොවිඩ් පාලනයේ දීර්ඝ කාලීන විසඳුම් වශයෙන් අප සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නිතර අත් සේදීම, සංචරණය සීමා කිරීම, මුඛ ආවරණ පැළදීම, උත්සව හා විනෝදාස්වාද කටයුතු සීමා කිරිම යනාදි ක්‍රමවේද අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ. එහෙත් වර්තමානයේ ආගමික ස්ථානවල වත්පිළිවෙත් පැවැත්වීමේදී නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන බවක් පෙනෙන්නට නොමැත. ආයතනික මට්ටමෙන් ආගමික ස්ථාන මීට වඩා සංවිධානාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇත. එසේ නැතහොත් ආගමික ස්ථාන මුල් කරගෙන කොවිඩ් පොකුරු නිර්මාණය වීමට වැඩි ඉඩකඩක් ඇත.
“අප වත්පිළිවෙත් ගැතියාව හා ජාතිවාදී භූතයා පරාජය කළ යුතුයි”
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මහතාගේ අදහස්වලට අනුව කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අපගේ සහෝදර මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපගේ ක්‍රිස්තියානි ප්‍රතිචාරය කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු වේ. විද්‍යානුකූලව මෘත දේහ භූමදානයට අවසර හිමිවුව ද අප සියලුදෙනා ජාතිවාදයේ භූතයාට බිය වී ඇත. අපගේ සැබෑ ක්‍රිස්තියානි ප්‍රතිචාරය විය යුත්තේ ජාතිවාදී භූතයාට ඇති බිය නැති කර ගැනීමයි. වර්තමානයේ සෑම ආගමක ම වත්පිළිවෙත් ගැතියාවක් ඇත. ආගම්වලට වත්පිළිවෙත් අවශ්‍ය වුවත් සැබවින්ම වත්පිළිවෙත් මගින් පිළිබිඹු කළ යුත්තේ ආගමක ඇති සාරධර්මයි; ධර්ම චින්තනයයි. ජාතිවාදී දේශපාලනය හා වත්පිළිවෙත් ගැතියාව ඉස්මතු කරන මිත්‍යාව නැති කිරිමට අප පෙළ ගැසිය යුතුය.
(සැකසුම – සඳුනි සමරසිංහ)
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.