

“කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කළ හැකියි”
විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා
ලෝකයේ රටවල් 188ක පමණ කොවිඩ් ආසාදිත මෘත දේහ භූමදානයට අවසරය දී ඇති පසුබිමක ලංකාවේ ඒ පිළිබඳව මතුව ඇති මතභේදාත්මක තත්ත්වයේ විද්‍යානුකූල මතය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ සභාපති හා කොවිඩ් 19 මෘත දේහ භූමදානය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට රජය පත්කළ කමිටුවේ සභාපති විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය මෙසේ පැහැදිලි කළා ය.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය පිළිබඳ හැඳින්වීමක් සිදු කරමින් ඇය පවසා සිටියේ, ශ්වසන මාර්ගය හරහා ව්‍යාප්ත වන මෙම වෛරසය මගින් පරිණාම තලයේ ඉහළ ම සිටින මිනිසාව බිය ගැන්වීමට සමත් වුවත් එය ශක්තිමත් බවින් අඩු කුඩා වෛරසයක් වන බවයි. මන්දයත් කවරයක් සහිත හා කවරයක් රහිත වෛරස (Enveloped and Non-enveloped viruses) යනුවෙන් වෛරස වර්ග දෙයාකාරයකට කාණ්ඩ කළ හැකි ය. කවරයක් සහිත වෛරසවල එහි බාහිර කවරය කැඩී ගිය විට වෛරසය ඉක්මනින් දුර්වල වේ. එහෙත් දුර්වල වෛරසයක් වුවත් එය ඉතා ආරක්ෂාකාරීව ශ්වසන පද්ධතියට ඇතුළු වුවහොත් එයට නිව්මෝනියාව වැනි දරුණු ආසාධන රෝගී තත්ත්වයන් ඇති කළ හැකි ය.
මෘත දේහයක වෛරසයක් වර්ධනය වීමට ඇති සම්භාවිතාව පිළිබඳව ද ඇය මෙලෙස පැහැදිලි කළා ය. ඒ අනුව වෛරසයක් වර්ධනය වීමට ජීවී සෛලයක් අවශ්‍ය වේ. මෘත දේහවල ජීවි සෛල නොපවතින නිසා වෛරසයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩාල වී ගොස් විනාශ වේ. තවද මෙම වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ ශරීරයෙන් බැහැර වන විවිධ ස්රාවයන් (යූරීන් හා අසූචි) සමඟ ද මුසු වී තිබිය හැකි ය. මෘත දේහ ආදාහනයේ දී මතු වූ ප්‍රධාන ගැටලුවක් වූයේ වෛරසය පසට හා ජලයට මුසු වීමෙන් වෙනත් කෙනෙකුට මේ රෝගය වැළදිය හැකි බවයි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශයක ම පාහේ ශරීර අපද්‍රව්‍ය පිරිපහදු කරන ක්‍රමවේදයක් නොමැති අතර ඒවා පසට මුසු වේ. එසේ නම් ආසාදිත පුද්ගලයන්ගේ කෙළ හා අසූචි මගින් දැනටමත් වෛරසය පසට හා ජලයට මුසු වී තිබිය හැකිය.
තවද ජීවී අයෙකුගෙන් හා අජීවී (මැරුණු) අයෙකුගෙන් පරිසරයට එක්වන වෛරස ප්‍රමාණය සන්සන්දනය කරන විට, ජීවි අයෙකුට වඩා අජීවී අයෙකුගෙන් පරිසරයට එක්වන වෛරස ප්‍රමාණය ඉතා ම අල්ප ය. එසේම භුමදාන කරන විට පස මතුපිට සිට අඩි 6ක් පමණ ගැඹුරට මෘතදේහ භූමදානයෙන් මෘත ශරීරයක පවතින ඉතා අල්ප වෛරස ප්‍රමාණය වුවත් පස් ස්ථර හරහා ගොස් ජලයට මුසු වීමට ඇති ඉඩකඩ ඉතා ම අල්පයි. ඒ අනුව රජය පත්කළ කමිටුවෙන් මෘත දේහ භූමදානයට අවසර ලබා දුන්නේ මෙවැනි විද්‍යාත්මක දත්ත සැලකිල්ලට ගැනීමෙනි. තවද එමගින් ඇතිවිය හැකි අල්ප ප්‍රමාණයේ හානිය වුවත් අවම කිරීම සඳහා කමිටුව තීරණය කළේ මෘතදේහ භූමදාන කිරීමේදී එම්බාම් නොකර, මෘත දේහ බහාලන බෑගයක දමා ^Body Bags& භූමදානයට අවසර ලබා දිය හැකි බවයි.
(සැකසුම – ජයනි මාරසිංහ)

“කොවිඩ් වසංගතය හමුවේ සමාජ අසමතුලිතභාවය වඩාත් තීව්ර විය”
ගරු කුමාර ඉලංගසිංහ රදගුරුතුමා
ලංකා සභාවේ ගරු කුමාර ඉලංගසිංහ විශ්‍රාමික රදගුරුතුමා වත්මන් වාතාවරණය හමුවේ ක්‍රිස්තියානි ප්‍රතිචාරය පිළිබඳව කාරණා කිහිපයක් ඔස්සේ සාකච්ඡාවට බදුන් කළේ ය. දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කළ පසු එතුමන් ගත් විශාල ම අවධානම වූයේ මැවිල්ලේ භාරකාරත්වය අප වැනි සාමාන්‍ය මිනිසුන්ට භාරදීමයි. අද වන විට මැවිල්ල සම්පූර්ණයෙන්ම විනාශකාරී මාවතක් වෙත යොමු කිරීමටත්, මැවිල්ලේ සමතුලිතතාව බිඳ දැමීමටත් මිනිසා සමත් වී තිබේ. මෙලොව සියලු ජිවින්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය කරන්නා වූ සියලු දෑ දෙවියන් වහන්සේ සපයා තිබෙන බව ක්‍රිස්තියානි ඉගැන්වීම තුළ පවතී. එසේනම් පවතින සම්පත් ප්‍රමාණය සමානාත්මතාවයෙන් බෙදා ගැනීමට අපට වගකීමක් ඇත. එහෙත් වත්මන් සමාජ යථාර්ථය තුළ මිනිසාගේ තණ්හාව සහ කෑදරකම නිසා විශාල පිරිසකට සම්පත් අහිමි වී ඇති අතර සුළුතර පිරිසක් විසින් විශාල සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳිනු ලබයි. මේ නිසා ලෝකයේ තිබෙන සම්පත් සියලුදෙනාගේ අවශ්‍යතා සඳහා නොසෑහෙන බව ප්‍රකාශ කරන තත්ත්වයට අප පත්ව ඇත.
කොවිඩ් වසංගතය හමුවේ සමාජ අසමානතා වඩ වඩාත් කැපී පෙනෙන්නට විය. එදිනෙදා තම ජීවිකාව කරගෙන යාමට යම් මුදල් ප්‍රමාණයක් සොයා ගන්නා දුප්පත් ජනතාව කොවිඩ් වසංගතය හේතුවෙන් වැඩි වශයෙන් අසරණ තත්ත්වයට පත්ව ඇත. මේ පවතින තත්ත්වයට ජනතාව මුහුණ දෙන්නේ කෙසේදැයි වැඩිපුර කතා කළේ ආගමන කාලයට පසුව පැමිණි නත්තල් කාලය තුළ ය. මන්දයත් පරිභෝජනවාදී නත්තල පැත්තකට දමා නත්තලේ ආධ්‍යාත්මික ගුණාත්මකභාවය වෙත යොමු වීමට මෙවර නත්තලේ දී අවස්ථාවක් ලැබීම නිසා ය.
මෙම කාලය තුළ ජනතාව ඉතා පුළුල් ලෙස මැවිල්ල හා අසල්වාසී සියලුදෙනා වෙනුවෙන් පරාර්ථකාමී ලෙස යාච්ඤා කරන්නට ප්රයත්නයක් දැරුවේය. ජනතාව දිළින්දන්ගේ අවශ්‍යතා සොයා බලන්නට යොමු විය. එය යම් සුබවාදී ප්රවණතාවයකි. එහෙත් සැබෑ චිත්ත පරිවර්තනයකින් තොරව යම් බලපෑමක් නිසා ද මෙවැනි වෙනස්කම් සමාජයේ සිදු වූවා විය හැකිය. යම් බලපෑමක් නිසා පමණක් එසේ සිදුවූයේ නම් සැබෑ චිත්ත පරිවර්තනයකින් එය අපගේ ජීවිතවලට නොපමාව සාක්ෂාත් කරගෙන අනාගත අභියෝගවලට මුහුණ දීමට කටයුතු කළ යුතු වේ.
(සැකසුම – මිදූෂි දෙවන්දනී)
සංස්කරණය – සඳුනි සමරසිංහ