
මේ වන විට පනවා ඇති ඇදිරි නිතිය නිසා කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුන් සමග කටයුතු කරන සංවිධාන සහ කණ්ඩායම් පැවසු බව මීට පෙර දිනක “ඇදිරි නීතියෙන් බැටකන නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවෝ” ශීර්ෂය යටතේ අපි වාර්තා කළෙමු.

ඔවුන්ගේ ගැටලුව ආණ්ඩුවේ වගකිව අංශ දැනුම්දී ඔවුන්ව නිවෙස්වලට යැවීමට දේශපාලන සහ සමාජ ක්රියාකාරීන් කීපදෙනෙකු තවත් සංවිධාන කීපයක් සමගම එක්වී දිවා රෑනොබලා වෙහෙසවී කටයුතු කළහ.
මෙහි ප්රතිපලයක් ලෙස අද උදෑසන නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් 1000 ගණනක් පොලිසිය විසින් ආයෝජන මණ්ඩලයේ ප්රධාන දොරටුව අසලට කැඳවා තිබුනේ හමුදාව විසින් ඔවුන්ව නිවෙස් කරා පිටත් කර යැවීමට පෙර දොස්තරවරුන් පැමිණ ඔවුන්ට උණ තිබේදැයි පරීක්ෂා කර බැලීම පිණිසය.

ඔවුන් මේ සටහන ලියන මොහොත (මාර්තු 27 දහවල් 1200) වනවිටත් එහි රැඳී සිටින අතර ඔවුන්ව නිවෙස්වලට යැවීම තව දුරටත් ප්රමාද වෙන බවක් දැකිය හැක. අවාසනාවන්ත තිත්ත ඇත්ත වන්නේ මොවුන් නිවෙස් වෙත යවනුයේ වේතනයක් හෝ කොරෝනා සඳහා පරීක්ෂා කිරීමකින් තොරවය. මුළු රටම කොරෝනා වසංගතයට වසාදමා තිබියදී කිසිඳු සැලසුමකින් තොරව වෙළඳ කලාපයේ විශාල සේවික සේවිකාවන් පිරිසක් පැය ගණනාවක් තිස්සේ රඳවා තබා ගෙන තිබීම අවාසනාවන්ත තත්ත්වයකි.
ආණ්ඩුව සේවක සේවිකාවන් 500 දෙනෙක් පමණක් නිවෙස්වලට යැවීම සඳහා කටයුතු යොදා ඇති අතර මේ පිලිබදව තවදුරටත් “සාකච්ඡා” සිදුවෙමින් පවතී.

කොරෝනා වෛරසය ඇත්දැයි පරීක්ෂාවට ලක් නොකොට ඔවුන් ගමට ගියවිට ඔවුහු ‘තමන්ගේ ගමට කොරෝනා රැගෙන ආවේ යන සැකයෙන් ගම්වලින් විරෝධතාවක් ඇතිවෙතැයි බිය පළකරති. සිය බඩු භාණ්ඩ හෝ යතුරුපැදි, බයිසිකල් කිසිවක් රැගෙන යාමටද ඔවුන්ට අවසර නැත.
බෝඩිම්කාමර හිමියන් පවසන්නේ ඔවුන් විසින් දමා යන කිසිඳු භාණ්ඩයකට තමන් වග නොකියන බවයි. මෙලෙස හරක් පටවන්නා සේ සේවක සේවිකාවන් සිය නිවෙස් වෙතට පටවන්නේ මන්ද? ඔවුනගේ ජීවිත වටින්නේ වහලුන් සේ සිය සේවය ලංකාවේ ආර්ථිකය නොවැටී තබා ගැනීමට කටයුතු කරන තෙක් පමණක්ද?
විෂයභාර ඇමතිතුමනි, ජනාධිපතිතුමා විසින් අනුමත කරන ලද “ආරක්ෂාකාරිව නිවෙස් කරා යැවීමේ” සැලසුම කිව්වේ මේකටද?
කර්මාන්ත හිමිකරුවනි, ඔබට ඔවුනගේ ජිවිත වටින්නේ ඔවුන් ලාභය සඳහා වැඩ කරන තෙක් පමණක්ද?
ඡායාරුප : කුමාර ජයකොඩිගේ පිටුවෙනි.